Report Abuse

Comments

Recent

Bottom Ad [Post Page]

Featured Post

Contact Form

Name

Email *

Message *

Archive

Tags

Labels

Full width home advertisement

Popular

Keep Traveling

Travel everywhere!

Author Description

Advertisement

Post Page Advertisement [Top]

Skip to main content

මම ටිකක් අනෙක් ලේඛකයන්ට වඩා වෙනස් - සල්මන් රුෂ්ඩි

 



සල්මන් රුෂ්ඩිගේ අලුත්ම නවකතාව, The Golden House මෙම වසරේ (2017)  සැප්තැම්බර් මස මුද්‍රණ ද්වාරෙයෙන් එළි දැක්වීමට නියමිතය. News India Times වෙබ් අඩවියේ දැක්වෙන පරිදි එම නවකතාව බැරක් ඔබාමාගේ පාලන කාලය තුළ ඇමරිකානු දේශපාලනය, Tea Party සංවිධානයේ නැඟීම සහ ‍ඩොනල්ඩ් ට්‍රම්ප් දේශපාලන කරළියට පිවිසීම, ධවල මන්දිරය දක්වා වූ ඔහුගේ ගමන් මඟ පිළිබඳ විවරණයක් සැපයෙන කෘතියකි.

ඉන්දියාවේ Penguin Random House ප්‍රකාශන සමාගමේ සාහිත්‍ය අංශයේ ප්‍රධාන සංස්කාරිකා මෙරූ ගෝක්ලේ සල්මන් රුෂ්ඩි ගේ, එළිදැක්වීමට නියමිත කෘතිය පිළිබඳ සිය අදහස් දක්වා සිටියේ මෙසේය.

“මේ තමයි සල්මන්ගේ විශිෂ්ඨතම කෘතිය. The Golden House කියන්නෙ, අපම නිර්මාණය කර, අප මත පටවා ගත් වියවුල් සහගත ලෝකය පිළිබඳ කියැවෙන මැහැඟි නිර්මාණයක්. ගෝලියකරණය පිළිබඳ නිර්වචන, ගැටුම් මඟින් වර්ණ ගැන්වුණු පරම්පරාවකගේ සංස්කෘතික සහ දේශපාලනික රික්තය මෙම කෘතිය මඟින් විච්ඡේදනය කරනු ලබනවා. එය සැබවින්ම සෑම මොහොතකදීම, නව්‍යත්වය රැක ගනිමින් තීක්ෂණ ලෙසත්, ‍පරිපූර්ණ ලෙසත් ගොතන ලද තියුණු කතාන්තරයක්.”

ජොනතන් කේප් ප්‍රකාශන සමාගමේ අධ්‍යක්ෂක මීහව් ෂවිත්, කෘතිය පිළිබඳ මෙසේ කියයි “ එය නව ගෝලීය පිළිවෙළක් තුළ විකල්පීය සත්‍යයන් ගොඩනැඟීම වෙනුවෙන්, අනන්‍යතාව, සත්‍යය, බිය සහ අසත්‍යය පිළිබඳ ලියැවුනු විශිෂ්ඨ ගණයේ කෘතියකි. The Golden House කෘතිය, පුදුම එළවන සුළු පෙර දැක්මක් සහිත, ශූර ලෙස ගොතන ලද, හද කම්පා කරවන සුළු, යථාර්තවාදි නවකතාවක් වනවා පමණක් නොව එය ලොව සිටින එක් විශිෂ්ඨතම කතා ගොතන්නෙකුගේ නිර්මාණකරණයේ උපරිම ශක්තිය විදහා දැක්වීමක්.”

සල්මන් රුෂ්ඩි, සාහිත්‍ය ලෝකය තුළ වඩාත් ආන්දෝලානාත්මක චරිතයක් බවට පත් වුයේ ඔහු විසින් 1988 වසරේදී රචිත Satanic Verses කෘතිය නිසාය. එම කෘතිය තුළ මුස්ලිම් ශාස්තෘ මුහම්මද් තුමාගේ චරිතය වැරදි ලෙස නිරූපණය කර ඇති බව කියමින් ලොව පුරා මුස්ලිම් ජනතාව එම කෘතියට එරෙහිව උද්ඝෝෂණය කළ අතර ඉරානයේ ආගමික නායක, අයතුල්ලා කොමෙයිනි, ‍‍ෆාත්වා නීතියට අනුව සල්මන් රුෂ්ඩිව මරා දැමීමට නියෝගයක් ද නිකුත් කළේය.

ඒ වන විට එක්සත් රාජධානියේ ජීවත්වු රුෂ්ඩිට පොලිස් ආරක්ෂාව ලබා දීමට එරට බලධාරීන් ක්‍රියා කළේය. මේ වන විට ඔහු කෘතින් 15කට අධික සංඛ්‍යාවක් ලියා ඇති අතර 1981 වසරේ දි ලියන ලද Midnight’s Children කෘතිය බුකර් සම්මානය ඇතුළු සම්මාන තුනක් දිනා ගන්නා ලදි.

ඉන්දු බ්‍රිතාන්‍ය ජාතිකයකු වන සල්මන් රුෂ්ඩි 2000 වසරේ සිට මේ දක්වා ජීවත් වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේය.

මෙහි දැක්වෙන්නේ, සලමන් රුෂ්ඩි තම ලේඛන ජිවිතය පිළිබඳව ‘හාර්වර්ඩ් බිස්නස් රිවිව්’ වෙබ් අඩවියේ, ඇලිසන් බියර්ඩ් නම් ජනමාධ්‍යවේදිනිය හා කරන ලද කතා බහකි.

  • ඔබ කොහොමද කියන්නෙ ඔබ දැන් අලුත් පොතකට සූදානම් කියලා?

සාමාන්‍යයෙන් අදහසක් මට වද දෙන්න පටන් ගත්තාම. සමහරවිට ඔබට උවමනා වෙනවා කිසියම් පුද්ගලයෙක් ගැන ලියන්න, නැතිනම් කිසියම් සිදුවීමක් ගැන වැඩි යමක් සොයා යන්න. කිසියම් අදහසක් හිතේ පැළපැදියම් වුණාම, එය ගැන මට දිගින් දිගටම ආසාවක් ඇති ‍වෙනවා නම්, මම සෑම උදෑසනකම අවදි වෙලා එය ඔප මට්ටම් කරනවා. ඉන් ඇඟවෙන්නෙ මම ඒ පිළිබඳ වඩ වඩාත් අවධානය ‍යොමුකළ යුතුයි කියන එක. ඒත් සමහර වෙලාවට මම ඒ ක්‍රියාවලියට අවුරුදු ගණනාවක් ගත කරනවා. මම The Enchantress of Florence ලියන්න පෙර අක්බාර් අධිරාජයා සහ නිකොලො මැකියවෙල්ලි ගැන අවුරුදු ගණනාවක් හිතමින් හිටියා. මම හිතුවා ‘ඔවුන් ගැන මම කවදාහරි ලියනවා’ කියලා. ඒත් කවදාවත් නොවුණු ආකාරයට ඔවුන් දෙදෙනාම එකම කෘතියකට ඇතුළත් වුණා. එකම මොහොතකදී ඔවුන් එකිනෙකා හා කතා කරන්න වුණා, ඉතින් මට වැටහුණා ඒ තමයි කතාව කියලා.

  • ඔබ කොහොමද වැඩ කරන්නෙ? ඔබගේ වැඩ කිරීමේ ස්වභාවය කාලයත් සමඟ වෙනස් වුණාද?


මම හැම තිස්සෙම හිතන්නෙ, මම 9- 5 රැකියාවක් කරනවා කියලා. ඔබ ගිහින් ඔබේ වැඩේ කරනවා. ඔබට ඒ දවසෙ දැනෙන්නෙ මොනවද, හිතෙන්නෙ මොනවද කියන එක එච්චර වැදගත් නැහැ‍. මම හිතන්නෙ නැහැ ලේඛකයන්ට හෝ කලා කරුවන්ට හැම තිස්සෙම විශේෂ නිර්මාණාත්මක චිත්ත ස්වභාවයක් පවත්වා ගැනීම හෝ නිර්මාණ සඳහා අවශ්‍ය උත්තේජනයක් ලැබෙන තුරු බලා සිටීම කළ හැකියි කියලා. ඔබට කරන්න තියෙන්නෙ ඉඳගෙන වැඩ කිරීමයි. වසර ගණනාවක් පුරා මම පුහුණු කල ශික්ෂණය එයයි.


මට පුළුවන් දිනපතාම මගේ මේසය අසල ඉඳගෙන වැඩ කරන්න, මම කවදාවක් මටම අවසරයක් දෙන්නෙ නැහැ වැඩ න‍ොකර ඉන්න. ඔබේ මනස තේරුම් ගන්නවා නම් ඒ සඳහා කිසිම නිදහසට කාරණයක් නැහැ කියලා, ඉන් අනතුරුව එම මානසිකත්වය ක්‍රියා කරන ආකාරය හරිම පුදුමාකාරයි. මම ටිකක් අනෙක් ලේඛකයන්ට වඩා වෙනස්, මම ලියන විට හුදකලා ජීවිතයක් ගත කරන්නේ නැහැ. ගොඩක් ලේඛකයෝ වඩාත් බරපතල ලෙස නිර්මාණක‍රණයේ යෙදී සිටින විට ඔවුන් පිටස්තර ලෝකයෙන් ඈත් වෙනවා. මට දැනෙන ආකාරයට මම, භාහිර ‍ලෝක‍ය හා සබඳකම් ඇති කර ගැනීම, මා ප්‍රිය කරන පුද්ලයින්ගේ සමාගමය සහ මම කැමති දේවල නියුක්ත වීම විසින් මා පෝෂණය වෙනවා. එය ම‍ට උද්යෝගය සහ ශක්තිය සපයනවා වගේම ඊළඟ දිනයේ නැවුම් බවකින් යුක්තව වැඩ කිරීමට අවකාශ ලබා දෙනවා. මම කිසියම් නිර්මාණයක් තුළ බරපතල ලෙස නියුක්තව සිටියදී ඇතිවන වෙනස තමයි දැනට වඩා වැඩි පිටු සංඛ්‍යාවක් ලිවීම - පිටු හතරක් පහක්. දැන් මම ලියන්නෙ වචන 400 ක් හෝ 500ක්. මම දැන් ලියන්නෙ දිනකට අඩු වචන සංඛ්‍යාවක් වුනත් මම දැන් එක් කොටසක් අවසන් කිරීමට ආසන්නයි. මම ලියන්න පටන් ගන්න කලින්, කතාවේ සැකැස්ම පිළිබඳ යම් අවබෝධයක් තියෙනවා නම් පහසුයි තමයි. ඒත් මම වයසින් මුහුකුරා යත්ම - මම ප්‍රපාතයකින් බිමට පනින්න තරම් නිර්භීත වුණාම - මම කැමතියි කිසිම දෙයක් සැලසුම් නොකර ලිවීම ආරම්භ කරන්න. නිතරම මගේ කතාව අවසන් වෙන්නෙ මම එය ලිවීම ආරම්භ කිරීමේදි හිතපු විදියට නෙමෙයි. එවිට ලිවීම ස‍ොයා යෑමේ ක්‍රියාවලියක් බවට පත් වනවා.



  • ඔබ ගමන් කළ යුතු දිශාව ගැන ඔබට දැනෙන්න වුණේ කොයි ක‍ාලෙද?

සමහරවිට මට වයස අවුරුදු හතළිහේ දි විතර. නවකතා කිහිපයක් තියෙනවා - මිඩ්නයිට්ස් චිල්ඩ්‍රන්, ශේම් සහ ද සැටනික් වර්සර්ස්- මම ඒවා තුළින් මාවමත්, මම පැමිණි සහ ජීවත්වන ලෝකයත් ගවේෂණය කළා. මිඩ්නයිට්ස් චිල්ඩ්‍රන් ලිව්වෙ ඉන්දියාව ගැන, ශේම් කෘතිය පකිස්ථානය ගැන, ද සැටනික් වර්සර්ස් කෘතියට පසුබිම් වුණේ, ඉන්දියානු අර්ධ ද්විපයේ සිට බටහිරට සංක්‍රමණය වීම පිළිබඳව. මේ කෘති ලීව්වාට පසුව මට දැනුනා මගේ ස්වයං ගවේෂණය අවසන් කළා කියලා. මම තේරුම් ගත්තා මම ලේඛකයෙක් කියලා. මම ඒ දැනුමත් සමඟ එතැන් සිට ඉදිරියට ගියා.



  • ඔබ ප්‍රතිපෝෂණය සොයා යන්නෙක් ද?

මම වැඩ කරන අතරතුර ඒ නිර්මාණ වෙනත් අය හා බෙදා ගන්නේ නැහැ. එය තරමක් මනස නොසන්සුන් වීමට ‍හේතුවක්. ඔන්න මම යම් විකට ජවනිකාවක් නිර්මාණය කරනවා, ඒත් වෙනත් කෙනෙකුට මම එය පෙන්වු විට ඔහුට ඉන් හිනා යන්නේ නැහැ. එවිට මම සන්තාපයට පත් වෙනවා. එය මගේ විශ්වාසය බිඳි යාමට ද හේතුවක් වනවා. මම එය තවත් කෙනෙකුට පෙන්වන්නේ මම එය හැකි තාක් නිම කිරීමෙන් අනතුරුව. එම මොහොතේදි මගේ මිතුරන් සහ ප්‍රකාශකයා ඒ සම්බන්ධයෙන් දක්වන අදහස් දැන ගන්න මම කැමතියි. ඔවුන් නිතරම එයට ආසා වෙන්න ඕනෙ නැහැ, නමුත් මට ඕනෑ මොකක් හෝ අඩුපාඩුවක් තියෙනවා නම් ඔවුන් ඒ ගැන මා හා කතා කරන්නයි. නිතරම පාහේ මම නිර්මාණය නිම කළ පසු, මම එය පෙන්වන පුද්ගලයන් දුසිම් භාගයක් විතර ඉන්නවා, මගේ යාළුවොයි, පොත් ප්‍රකාශකයොයි. ඔබට ඇත්ත දැන ගන්න ඕනෙ නම් චාටු කාර නොවන පුද්ගලයින් ඕනෙ වෙනවා.

  • ඔබ අනෙක් බොහොමයක් ‍ලේඛකයන්ව ලඟින් ඇසුරු කරන්නෙක්. ඉන් ලිවීම සඳහා එකිනෙකාට අනුප්‍රාණය සැපයෙන්නෙ කොහොමද?

මම කිව්වොත් අපි මුණ ගැහිලා කතා කරන්නෙ සාහිත්‍යය ගැන කියලා, මම එහෙනම් ඇත්ත නෙමෙයි ඒ කියන්නෙ. අපි නිතරම කතා කරන්නෙ වෙන වෙන දේවල්. නමුත් අපිට එකිනෙකා හොඳින‍් තේරුම් ගැනිමේ කිසියම් සහජ හැකියාවක් තියෙනවා, ඒ අපි එක සමාන දෙයක නිරත වෙලා ඉන්න නිසා. මම හිතන්නෙ මට වඩා වයසින් අඩු ලේඛකයින්ව හඳුනා ගැනීම වැදගත් කියලා. කවුරු වුනත් නිතරම නැඹුරු වෙන්නෙ තමන්ගේ ම පරපුරේ අයව ඇසුරු කරන්න, ඒ එකිනෙකාගෙන් අනුප්‍රාණය ලබන්න හෝ සංවාද ‍ගොඩනඟා ගන්න. නමුත් බාල පරපුරේ ලේඛකයන්ද සමකාලිනයෝ වගේම මට වැදගත්. අපට ‍වඩා වෙනස්ම ලෝකයක් තුළ උස් මහත් වුණු, අපට වඩා වෙනස් දේවල් කරන සහ හිතන නව පරපුරේ ලේඛකයෝ අපව අලුතින්, නව මානයකින් හිතන්න පොළඹවනවා, අලුත් යුගයක ජීවත්වන ජනතාව තේරුම් ගන්න පිටිවහලක් වෙනවා.

  • ඔබ‍ගේ ලේඛණ ජීවිතයේ වඩාත් දුෂ්කර කාර්යය කුමක්ද?

ලෝකය තේරුම් ගැනීම තමයි වඩාත් අමාරුම කාර්යය. මිනිස් වර්ගයාට කඩදාසියක් මත ජීවය දීමත් අමාරුයි. ඒවගේම මට දැනෙන දෙයක් තමයි, ලේඛකයෙක්  අලුත් නාද, විලාසිතා, චර්යාවන් සමඟ නිතරම වෙනස් වන භාෂාව සමඟ සමීප සබඳතාවක් පවත්වා ගත යුතුයි- එය නිරන්තර මල්ලවපොර තරඟයක් ව‍ගෙයි. අනික් අමාරු කාර්යය තමයි, ලියන දේ පාඨකයාට කියවීමට අපහසු නොව‍න සේ ලිවීම. නමුත් දැන් මම කියන දෙයින් ඔබට තේරුම් යන්නෙ එය අමාරු කාර්යයක් විතරයි කියලා. ඒත් එය එසේ නොවෙයි. එය තමයි ඇත්තටම  මම කරන දේවල් වලින් වඩාත් රස විඳිය හැකි කාර්යය. ලිවීමේ කාර්යය තුළ මම වඩාත් සතුටු වන මොහොත තමයි කතාව නියමාකාරයෙන් ලියැවෙනවා යැයි මට දැනෙන මොහොත. එය ඉතාමත් ප‍්‍රමෝදජනකයි... ඇත්තෙන්ම කිව්වොත් පොතක් ප්‍රකාශයට පත් වීම දකිනවාටත් වඩා.

  • ‍ඔබගේ ලේඛණ ජීවිතයේ මුල් කාලයේ සාහිත්‍ය විවේචන වලට මුහුණ දුන්නෙ කොහොමද? එය කාලයත් සමඟ වෙනස් වුණාද?

කවුරුහරි ලේඛකයෙක් කියනවා නම් එයා විවේචන එච්චරම ගණන් ගන්නේ නැහැ කියලා, එය එක්තරා ආකාරයක බොරුවක්. මම ටිකක් කම්පනයට පත් වුණා මගේ මුල්ම ප‍ොත පිළිගත්ත අකාරුණික පිළිවෙත නිසා. එය හැබෑවට හිත පෑරුන කාරණයක්. ඒත් එය තරමක උදව්වකුත් වුණා. මොකද ඒ අත්දැකීම මගේ සමස්ත ලිවීමේ කාර්යය ගැන ප්‍රශ්න කරන්නත්, ඒ ගැන නැවත හිතන්නත් සහ වෙනස්ම ආකාරයකින් නැවත පටන් ගන්නතත් මාව පෙළඹෙව්වා. එහි ප්‍රථිපලයක් ලෙස තමයි මිඩ්නයිට්ස් චිල්ඩ්‍රන් කෘතිය බිහිවුණේ. සමහරවිට මම මා තුළ සිටි ලේඛකයාව සොයා ගන්න මවිසින් කළ අත්වැරැද්දක් වෙන්න ඇති එය. ඒ කොයි හැටි වෙතත්, මගේ පළමු පොත තවමත් මුද්‍රණය වෙනවා, සහ එයට හොඳ ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා. ඉතින් මම කෙටි තරඟය පැරදුනා, ඒත් මම දීර්ඝ තරඟය දිනුවා.



  • මිඩ් නයිට්ස් චිල්ඩ්‍රන් කෘතිය සාහිත්‍ය ලෝකය තුළ මහත්සේ පැසසුමට ලක් වුණා. ඔබ එම සාර්ථකත්වය පසුපස හඹා යනවා කියලා ඔබට කවදහරි දැනුනද?

එම කෘතිය මට විශ්මය ජනක දෙයක් සිදු කළා. මාව ජනතාව අතර ලේඛකයෙක් බවට පත් කළේ එම කෘතියයි. ඒ වගේම එය මාව මුල්‍යමය වශයෙන් ස්වාධීන කෙනෙක් බවට පත් කලා. නමුත් මම තවදුරටත් ඒ විදියට ලියන්නේ නැහැ. එය තරුණ හාදයකුගේ කෘතියක්. එය මම ලියන්න පටන් ගනිද්දි මට වයස 27 ‍ක් හෝ 28 ක්. පොත එළිදැක්වෙන විට මට වයස තිස් තුනයි. දැන් මට වයස 68යි. එය සිදු වුණේ බොහෝ කාලයකට පෙර. ලේඛණ ජීවිතයේ වඩාත් ආශ්වාදනීය දේ තමයි එහි විශ්‍රාමික වයස් සීමාවක් නොමැති වීම. නිරන්තරයෙන් ඔබ කළ යුත්තෙ ඊළඟ පොත ලිවීමයි.

  • ෆාත්වා ඔබේ නිර්මාණකරණයට බලපෑවේ කෙසේද?

ඒ සිදු වු වහාම මට ලොකු වෙලාවක් වත්, අවකාශයක් වත් ලැබුණේ නැහැ මගේ වැඩ ගැන හිතන්න. මුළු ලෝකෙම මගෙ කන් දෙක ඇතුළෙ ඝෝෂා කරමින් හිටියේ. ඒත් කලාකරුවෙකු හැටියට මට මගෙ ඔළුව අවුල් කරගන්න ඕනෙ වුනේ නැහැ. ඒ නිසා ඉතා තදින් මම මටම කියා හිටියා, “මෙච්චර කල් ලිව්වා වගේ දිගටම ලියන්න ඕනෙ” කියන එක. යම් හෙයකින් මගේ ජීවිතය ගැන කිසිම දෙයක් නොදන්න පාඨකයෙක්ට මගෙ පොත්, ප්‍රකාශ වුනු පිළිවෙලින් පෙන්වුයේ නම් මම හිතන්නේ නැහැ ඔහු කියයි කියලා “මේ බලන්න 1989 දි බොහෙ‍ාම භයානක දෙයක් ‍මේ ලේඛකයාට වෙලා තියෙනවා, ඊට පස්සෙ පළ වුනු සේරම පොත් වලට එය බලපාලා තියෙනවා කියලා.” ඔවුන් දකීවි, මා අතින් සාහිත්‍ය නිර්මාණ නොනවත්වාම සිදු කෙරුණා කියලා. ඇත්තටම විශාල බාධවක් මට වුනේ නැහැ. මම ඒ ගැන ආඩම්බරයි - සාහිත්‍යකරුවෙක් ලෙස මට නොනවත්වා වැඩ කිරීමට තියෙන හැකියාව ගැන.

  • ඔබ ට්විටර්(Twitter) සමාජ වෙබ් අඩවිය තුළ ඉතාමත් සක්‍රියයි. එයට විශේෂ හේතුවක් තියෙනවාද?

එහි කඩිනම් බව නිසා - අතරමැදියෙක් නොමැතිව ඔබට ඉතා ඉක්මනින් යමක් කීමේ ඇති හැකියාව නිසා. ඔබ දන්නවා පොතක් ලියන්න ගොඩක් කල් ගත වෙනවා. සමාජයේ පැන නැ‍‍ඟෙන හදිසි කාරණා පිළිබඳ ප්‍රබන්ධයකින් කතා කරන්න අමාරුයි, මොකද අපි ජීවත් වන්නෙ ඉතාමත් වේගයෙන් වෙනස් වෙන ‍යුගයක. සමාජ වෙබ් අඩවි කියන්නෙ පොත් වලට ප්‍රතිවිරුද්ධ පාර්ශවය. එයට දිගු ආයු කාලයක් නැහැ, ඒත් එහි ඇති කඩිනම් බව ප්‍රයෝජනවත්. මුලින් මම ට්විටර් වලට කැමැත්තක් තිබුණේ නැහැ, ඒත් මගේ යාළුවෙක් මට ඉතා තදින් බල කළා. දැන් මටත් පුදුමයි, ටිවිටර් එකේ මට දැන් මිලියන ගණනක් අනුගාමිකයින් ඉන්නවා. එය ඔබේ අතට මෙගා ෆෝනයක් දීලයි තියෙන්නෙ. යමක් ටිකක් සද්දෙන් කියන්න ඕනෙ වුනාම ‍ඔබේ අතේ මෙගාෆෝනයක් තියෙන එක හරිම ප්‍රයෝජනවත්.

  • ඇයි අප ප්‍රබන්ධ කියවිය යුත්තේ?

ප්‍රබන්ධ නොවන කෘතීන් මේ දවස්වල වැඩි‍යෙන් විකිණෙනවා. නමුත් ඉතිහාසය විෂයක් ලෙස ඉගෙන ගන්නවා නම් ඔබට තේරෙනවා විවිධ සිදුවීම් පරීක්ෂණයට ලක් වෙන්නෙ කොහොමද කියලා. තොරතුරු ලිස්සන සුළුයි. සත්‍යය අසම්පූර්ණයි. ප්‍රබන්ධය එය තේරුම් ගන්නවා. අනික් අතට වෙනත් විදියක සත්‍යයකුත් තියෙනවා - මානව වර්ගයා එකිනෙකාට, ස්ථානයකට, අදහස් වලට සහ විශ්වාස පද්ධතීන් හා බැ‍‍‍ඳෙන්නෙ කොහොමද කිය සත්‍යය- එය ඔබට නවකතාවකින් සොයා ගන්න පුළුවන්. පාඨකයාට හොඳ පරිවර්තන කෘතීන් ඇසුරු කරන්න ලැබෙනවා නම්, ඔවුන්ට සාහිත්‍ය පාවිච්චි කරන්න පුළුවන් ලෝකය හොඳින් තේරුම් ගන්න. ඔබට ප්‍රවෘත්ති වලින් දැක ගන්න පුළුවන් ඇෆ්ගනිස්ථානයට බෝම්බ දාන හැටි, මිනිසුන් වේදනාවෙන් කෑගහන හැටි. ඒත් ඔබ The Kite Runner කියවනවා නම් ඔබට තේරුම් යන්න පටන් ගන්නවා ඇෆ්ගනිස්ථානු වැසියෙක් ගෙ ජීවිතය මොනවගේද කියන එක.


✎ සුභාෂිණි චතුරිකා


මෙම ලිපිය පළමුවරට 2017.04.23  දින රාවය පුවත්පතේ වර්ණ අතිරේකයේ පළවෙන ලදි.

 

 

Comments